සතර සංග්‍රහ වස්තු - BC

Hot

Post Top Ad

Your Ad Spot

Monday, February 4, 2019

සතර සංග්‍රහ වස්තු

සතර සංග්‍රහ වස්තු
"සතර සංග්‍රහ වස්තු" යනු
1.දානය
2.ප්‍රියවචනය
3.අර්ථචර්යාව
4.සමානාත්මතාව
යන්නයි.
සිගාලෝවාද සූත්‍රයට අනුව සතර අගතියෙන් සහ සතර කර්ම ක්ලේශයන්ගෙන් මිදුණ කුල පුත්‍රයා විසින් කළ යුතු, අනුගමනය කළ යුතු ප්‍රතිපදාවකි සතර සංග්‍රහ වස්තුව." සංගහවත්ථු" සූත්‍රයේ ද මේ පිළිබද සදහන් වෙයි. සමාජයක අන්‍යෝන්‍ය සුහදතාවය සුරක්ෂිතවීමට නම් සතර සංග්‍රහ වස්තුව සහ එහි උපයෝගීතාව කිසියම් සමාජයක් තුළ ප්‍රායෝගිකවීම අනිවාර්ය අගයක් ගන්නා බව කිව හැකිය. බුදුරදුන් මෙය රථයක කඩ ඇණය බදු " රථස්සාණීච යායතෝ " යැයි උපමා කරන්නේ එහෙයිනි. කඩ ඇණය නොමැතිව රෝදයට ගමන් කළ නොහැකිවන්නාක් මෙන් සමාජයට ද සතර සංග්‍රහ වස්තුව නොමැත්තේ නම් යහපත් ඉදිරිගමනක් සුරක්ෂිත කළ නොහැකිය.
නමුත් මෙහි ප්‍රධාන වශයෙන්ම පාලකයෙකුට සතර සංග්‍රහ වස්තුව වැදගත් වන ආකාරය විමසා බලමු. ඒ අනුව යම් පාලනයක ධර්මිෂ්ට බව සුරක්ෂිතවීමට අවශ්‍ය වන ආර්ථික,දේශපාලනික සහ සමාජ යහපැවැත්ම සුරක්ෂිත විය යුතුය. ඒ සදහා යම් පාලකයකු(ආණ්ඩුව=හෝ එම පාලන තන්ත්‍රය) විසින් අනුගමනය කළ යුතු සුබසාධක ක්‍රමය මෙයින් ප්‍රකය වෙයි.
ඒ අනුව පාලකයකු විෂයෙහි දානය අනුගමනය කිරීම යනු රාජ්‍ය භාණ්ඩාගාරය සතු ධනය දිළිදු ජනතාව වෙත බෙදාදීමයි. මෙහිදී වක්කවත්ති සීහනාද සූත්‍රයේ(දීඝ නිකාය) සදහන් වන දිළින්දන්ට ධනය දීම යන්න නිදසුනකට ගත හැකිය. ඒ අනුව දිළිදුකම නිසා හොරකම ඇතිවෙයි. හොරකම සමාජ දුරාචාර රැසකටම මුල් වන්නේ ය.එහෙයින් ක්‍රමවත් යාන්ත්‍රණයක් තුළ නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වයක් ඇතිවන පරිදි ධනය ලබාදීම මෙයින් අදහස් වෙයි. කෘෂිකාර්මික කටයුතු කරන ජනතාවට ඊට අවශ්‍ය බීජ,පොහොර,කෘෂි උපකරණ ආදිය ලබා දෙමින් ගොවි සෙත සැලසීම, රැකියා විරහිත පිරිස් වෙත රැකියා ලබාදීමට කර්මාන්තශාලා ආදිය සකස් කරමින් රැකියා සුලබ කිරීම,ස්වයං රැකියා ආදිය කරන්නන්ට ඒ සදහා අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම අතහිත දීම ආදී වශයෙන් ජනතා සුබ සාධනය පිණිස ධනය යෙදවීම පාලකයකු විසින් "දානය" අනුගමනය කිරීම යනුවෙන් අදහස් වෙයි.
"ප්‍රිය වචනය" යනු සත්‍යවූත් මෘදු මොළොක් වචන භාවිතයයි. විශේෂයෙන්ම පාලකයකු විසින් ජනතා ප්‍රසාදය දිනාගැනීමට නම් වචනයේ සංවර බව තබා ගත යුතුය. ඒ අනුව බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස්වචන කීම යන චතුර්විධ වචනයෙන් ඈත්වී සත්‍යවූත් අන්‍යයන්ට ප්‍රිය වූත් මෘදුමොළොක් වචන වලින් ජනතාවට සංග්‍රහ කිරීම පාලකයකු විෂයෙහි අවශ්‍ය වෙයි. තවද, ජනතා කැමැත්ත ලබාගැනීමේ අරමුණින් බොරු පොරොන්දුදීම ආදිය වචනයෙන් නොකිරීම ද මෙයින් අපේක්ෂා කෙරෙනු ඇත. 'නන්දි විසාල' ජාතකයට අනුව මිනිසුන් පමණක් නොව තිරිසන්ගත සතුන් පවා රළු වදන් ප්‍රිය නොකරයි. ඒ අනුව රටේත් ජනතාවගේත් සුබසිද්ධිය සහ ආරක්ෂාව ආදිය පිණිසම වචන හැසිරවීම පාලකයකු විෂයෙහි අත්‍යාවශ්‍ය වෙයි.
අර්ථචර්යාව යනු ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් කැපවී සිටීම ය. පරාර්ථ චර්යාව මෙයින් අදහස් වෙයි. පුද්ගලික ඕනෑ එපාකම් පිළිබදව නොව පාලකයකු විසින් මූලිකත්වය දිය යුතු වන්නේ ජනතාවගේ අභිවෘද්ධිය සැලසීම පිළිබදවයි. සතර බ්‍රහිම විහරණයෙන් යුත්තව ආධ්‍යාත්මික ශක්තියක් ඇති පාලකයෙකුට අගතිගාමී නොවී සියලු ජනතාවගේ අර්ථසිද්ධිය පිණිස කටයුතු කළ හැකිය. එසේ සියලු ජනතාවගේ (පක්ෂ හෝ විපක්ෂ) හිත පිණිස කටයුතු කිරීම මෙයින් අදහස් වෙයි." ..බහුජනහිතාය බහුජන සුඛාය, ලෝකානුකම්පාය,අත්ථාය..." යනුවෙන් බුදුරදුන් ප්‍රථම රහත් භික්ෂූන් හැට නම අමතා කළ ප්‍රකාශය(මහාවග්ග පාළි) පාලකයාට ද එකසේ වැදගත් වන බව මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා අදහස් කරයි.
පාලකයකු විෂයෙහි සමානාත්මතාව යනුවෙන් මෙහි අදහස් කරන්නේ සියලු දෙනාට සමානව සැලකීම නොවේ. එය ප්‍රායෝගික නොවූවකි. මෙහි සමානාත්මතා ධර්මය යනු අටලෝ දහම හමුවේ සම සිතින් කටයුතු කිරීමයි. ඒ අනුව ලාභ,අලාභ, අයස,යස, නින්දා,ප්‍රශංසා, සැප,දුක යන අෂ්ට ලෝක ධර්මය පාලකයකුට ද පොදුය. ජයග්‍රහණයේදී සතුටු වන ජයපැන් බීමට සිටින අනුගාමික පිරිස් ප්‍රශංසා කරයි. එහෙත් පරාජයේදී ඔවුන්ම නින්දා කරන්නේ ය. එහෙයින් නින්දා ප්‍රශංසාදියෙහි උද්දාමයට හෝ කම්පාවට පත්නොවී සම සිතින් ඉවසීම මෙහිලා අදහස් කරයි.
ඒ අනුව යහපත් රාජ්‍ය පාලනයකටත් යුක්තිගරුක, යහපත් සමාජයකටත් සමාජ නායකත්වය මෙහෙයවන සමාජ සුබ සාධනය මෙන්ම නීතිගරුක, සාධාරණ සමාජයකට මග පෙන්වන අතිශය ප්‍රායෝගික වැඩපිළිවෙලක් ලෙස "සතර සංග්‍රහ වස්තු" යන්න හදුනාගත උචිත ය.



1 comment:

  1. වටින සටහනක්.. සයිබර් අවකාශයේ මෙවැන්නක් තැබීම අතිශයින්ම වැදගත් !
    නිවැරැදි ධර්මචක්‍රය ක් අවසානයේ යොදන්නේනම් මැනවි.
    ස්තූතියි !

    ReplyDelete

Post Top Ad

Your Ad Spot