මහා කරුණාව
අප තථාගත සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ කරුණා ගුණය “මහා කරුණාව” ලෙස හඳුන්වන්නේ උන්වහන්සේ තුළ පිහිටි මහා කරුණාව හා සමාන කරුණා ගුණයක් තවත් බුදුවරයෙකුට මිස අන් කිසිවෙකුට නැති නිසයි. උන්වහන්සේ දිනපතා අලුයම අවදිවී මහා කරුණාසමාපත්තියට සමවැද ලෝක සත්ත්වයා දෙස බලා වැඩවදාළ සේක.
අනුන් කෙරෙන් යුත් කරදර නැති කිරීමට ඇති කැමැත්ත මෙන්ම අනුන්ට පිහිටවී අනුන් සුවපත් කිරීමට ඇති කැමැත්ත කරුණාව නම් වේ. කරුණාව හා මහාකරුණාව අතර ඇති වෙනස හඳුනාගැනීම මෙහිදී වැදගත් වේ. ඒ පිළිබඳ ඉතා නිවැරදි පැහැදිලි කිරීමක් බෞද්ධ විශ්වකෝෂ සිංහල ග්‍රන්ථ මාලාවෙහි සඳහන් වේ.
බුදුරදුන් තුළ තිබෙන මහා කරුණාව හා ශ්‍රාවකයන්ගේ කරුණාව අතර සැසඳීමක් කළ නොහැකිය. මෙය අප්පමඤ්ඤා නමින් හැඳින්වෙන චෛතසික 4න් එකකි. එනම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාය.
බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සත්ත්වයන් කෙරෙහි දක්වන කරුණාව හා ආලම්මනය කෙරෙහි දක්වන කරුණාව සාමාන්‍ය පුද්ගලයන් තුළ හටගන්නා මනෝ භාවයක් වන අතර, එය එක් එක් සත්වයෙකු යොමු වන්නකි. අරමුණ කෙරෙහි දක්වන කරුණාව නම් අනාත්මය පිළිබඳ සත්‍ය අවබෝධ කරගත් රහතුන් වෙනත් මුණිවරයන් තුළ ජනිත වන්නකි.
එම කරුණාව සවිඤ්ඤානක, අවිඤ්ඤානක සියලු සත්ත්වයන් වෙත යොමු වේ. මෙය මධ්‍යම කරුණාවයි. සවිඤ්ඤානක අවිඤ්ඤානක යනුවෙන් කිසිම වෙනසක් නොමැතිව සකල විශ්වය පුරා පතුරුවාහරිනු ලබන “මහා කරුණාව” වේ.
බුදුරජාණන් වහන්සේගේ කරුණාව කාටත් පොදු වූවකි. සකල සත්ත්වයාම සසරින් මුදා ගැනීමට පෙළඹවීම එහි ස්වභාවයයි.
එහි ඉතිහාසය දීපංකර පාද මූලය දක්වා දිව යන්නකි. දීපංකර බුදුරදුන් දවස සුමේධ තාපසයාව ඉපදුණු බෝසතුන්ට එම බුදුරදුන්ගේ පාද මූලයෙහිම කෙලසුන් නසා රහත් බව ලබා සසර කෙළවර කර ගැනීමට හැකිකම තිබියදී මුත් සසරෙහි දුක් විඳින අනන්ත දැකීමේ බලාපොරොත්තුව ඉවත දැමීය. උන්වහන්සේ බලාපොරොත්තු වූයේ,
“බුද්ධෝහං බෝධියිස්සාමී - මුත්තෝහං මෝචයේ පරේ
තින්නෝහං තාරයිස්සාමී - සංසා රෝගා මහබ්බයා”
මම බුදු වන්නෙමි, සසර රෝගයට වැටී සිටින සත්ත්වයා ඉන් මුදා ගන්නෙමි යන චේතනාවයි. එම නිසා මහා කාරුණිකවූ බෝසතුන් පෙරුම් දම් පිරූහ. සම්මා සම්බුද්ධත්වයට පත්වූහ. එය සත්‍යයකි. එම සත්‍ය බලයෙන් ඔබ සැමටම සෙතක්ම වේවා.
බුදුවරයෙකු වශයෙන් තමන්වහන්සේගෙන් සිදුවිය යුතු සේවය කුමක් ද? වැරදි වැඩ කරන්නෙකු එයින් මුදාගන්නේ කෙසේ ද යන්න සිහිපත් කළසේක. කෙලෙස්වලින් පිරි දුගියාගේ පටන් මහා මාලිගාවල රජ සැප විඳින රජුන් දක්වා කිසිත් විශේෂත්වයක් නැතිව, බුදු ඇසින් පරීක්ෂාකොට බලා ස්වකීය කරුණාව අවශ්‍යවූ තැනැත්තා වෙත පා ගමනින් හෝ ඍද්ධියෙන් වැඩවදාරා ඔවුන්ගේ මෙලොව පරලොව යහපතට යෝග්‍ය වූ දහමක් දෙසූහ.
01. “මහා කරුණාව” සඳහා කරණ ලද කුසල් උසස් වන්නාසේම එය ලබා ගැනීමට කළ කුසල් කරුණාව සඳහා කළ කුසල්වලට වඩා බලවත්ය.
02. ස්වරූපය අතින් උසස් වන “මහා කරුණාව” ක්‍රියාත්මක වන්නේ දුකෙහිදී පමණි.
03. අරමුණ උසස් වන “මහා කරුණාව” කාම, රූප, අරූප යන ධාතුත්‍රයෙහිම ක්‍රියාත්මක වන අතර කරුණාව කාම ධාතු කෙරෙහි පමණක් ක්‍රියාත්මක වේ.
04. ‘මහා කරුණාවෙහි’ පක්ෂපාතීත්වයක් නොමැත. එහෙත් කරුණාවෙහි පක්ෂපාතීත්වයත්, එකීයභාවයත් දක්නට ලැබේ.
05. කරුණාවෙහි අධි මාත්‍රය උසස් වන අතර, මහා කරුණාවෙහි අධි මාත්‍රය එයටත් වඩා උසස් වේ.
කරුණාව හා මහා කරුණාව අතර වෙනස්කම් අටක් ද සඳහන් වේ.
01. කරුණාවෙන් ද්වේශය නැති කරයි. මහා කරුණාවෙන් මෝහය නැති කරයි.
02. ආකාරයේ වෙනස - ඉහතින් දක්වා ඇති හේතු කාරණා 5 තුළ අන්තර්ගත කරුණු
03. ආලම්භයෙන් වෙනස - මහා කරුණාව ආලම්භනය පුළුල්ය.
04. භූමියේ වෙනස - කරුණාව ප්‍රථම ධ්‍යානයේ සිට චතුර්ථ ධ්‍යානය දක්වා පැතිරී ඇත. මහා කරුණාව සීමා සහිතය.
05. පෞරුෂයේ වෙනස - කරුණාව ශ්‍රාවකයන්ට සහ පසේබුදුවරුන්ට සීමාවේ. මහා කරුණාව බුදුරදුන්ට පමණක් සීමාවේ.
06. ලබාගැනීමේ වෙනස - කාම ධාතුවේ ක්ලේශයන් විනාශ කිරීමට ලබන ඵලය කරුණාවයි. අරූප ධාතුවේ, වන භවාත්‍රයේ ක්ලේශයන් නැති කිරීමෙන් ලබන ඵලය මහා කරුණාවයි.
07. විමුක්ති ප්‍රමාණයේ වෙනස - කරුණාවෙන් විමුක්තිය ප්‍රාර්ථනය කරනු ලැබේ. මහා කරුණාව විමුක්තිය සාධනය කරයි.
08. සංවේදනා ප්‍රමාණයේ වෙනස - කරුණාවෙන් හටගන්නා වූ හැඟීම් කාම ධාතුවලට පමණක් සීමාවේ. එහෙත් මහා කරුණාවෙන් හටගන්නා වූ හැඟීම් කාම, රූප, අරූප යන ධාතුන් ඉක්මවා පවතී. “මහා කරුණාව” බුදුවරුන්ට පමණක් සීමා වූවකි.
No comments:
Post a Comment