බුදු දහම රාජ්‍ය පාලනය සහ ආර්ථිකය - BC

Hot

Post Top Ad

Your Ad Spot

Sunday, February 9, 2020

බුදු දහම රාජ්‍ය පාලනය සහ ආර්ථිකය

බුදු දහම රාජ්‍ය පාලනය සහ ආර්ථිකය
--------------------------------------------------------------
රට හැදීම, ආර්ථික යුද්ධය ජය ගැනීම සහ ආර්ථික සංවර්ධනය යනාදී කාරණා ගැන වෙන කවරදාටත් වඩා මේ කාලයේදී වැඩි අවධානයක්‌ යොමුව පවතී. විශේෂයෙන් ම යුද ජයග්‍රහණයෙන් පසු සෑම දෙනාගේම අපේක්‍ෂාව වී ඇත්තේ ආර්ථික යුද්ධය ද ජය ගනු දැකීමයි. එහෙත් යුද්ධය ජය ගත් පමණින්ම රටට ඉබේම සමෘද්ධිය පහළ වන්නේ නැති බව ද අපි නොයෙක්‌ විට කියා ඇත්තෙමු. මේ සඳහා රජයේ ආර්ථික කළමනාකරණය පමණක්‌ නොව පොදුවේ පාලක පක්‍ෂය රාජ්‍ය පාලනය සිදුකරන ආකාරය ද රටක ආර්ථිකයේ ප්‍රගතියට හේතු වෙයි. ඒ අනුව මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ බුදු දහම ඇසුරින් රාජ්‍ය පාලනය සහ රටේ ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කිරීමටය.
බුදු දහමට අනුව රාජ්‍ය පාලනයේදී රාජ්‍ය පාලකයා දැහැමි අයකු වීම, එම රාජ්‍ය පාලනය තුළින් රටටත්, රටවැසියාටත් සමෘද්ධිය හා සෞභාග්‍යය උදාකර දීමට අත්‍යවශ්‍ය දෙයකි. ඒ නිසා ධාර්මික රාජ්‍ය පාලනය තුළින් රටෙහි දියුණුවක්‌ ඇති වන බවත් පිරිහීමක්‌ ඇති නොවන බවත් බුදු දහමේ නොයෙක්‌ තැන්හි අවධාරණය කර ඇති දෙයකි. ධාර්මික රාජ්‍ය පාලනයක්‌ සඳහා හේතු වන බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමේදී බුදු දහමේ සඳහන් ඉතා වැදගත් සංකල්ප කිහිපයක්‌ පිළිබඳව අපට අවධානය යොමු කිරීමට සිදු වේ. ඒවා මෙසේයි.
1. චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය
2. දසරාජ ධර්මය
3. සතර සංග්‍රහ වස්‌තු
4. සතර අගතිය
5. සප්ත අපරිහානීය ධර්ම
දුර අතීතයේදී "රජ" හෙවත් "රාජා" යන ව්‍යවහාරය ඇති වූයේ දැහැමින් රට පාලනය කරන්නා යන අර්ථයෙනි. කූටදත්ත සූත්‍රයට අනුව මෙම රජු සතුව ප්‍රධාන ලක්‍ෂණ තුනක්‌ තිබිය යුතුය. එනම් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව (සුස්‌සුතො), ප්‍රඥාවන්ත බව (පණ්‌ඩිතො), සහ උගත් බව (වියත්තො) යන ගුණාංගයන් ය. බුදු දහම තුළින් අවධාරණය කරන චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයේදී විශිෂ්ට රාජ්‍ය පාලකයකුගේ පරමාදර්ශී ස්‌වභාවය මූර්තිමත් කෙරෙන අතර, සක්‌විති රජු යනු ධාර්මික රාජ්‍ය පාලනයේ ඉහළම තලයයි. මේ සක්‌විති රජුගේ ප්‍රධාන කටයුතු හතරකි. ඒවා හැඳින්වෙන්නේ ප්‍රධාන සක්‌විතිවත් ලෙසය. ඒ මෙසේය.
1. දැහැමෙන් සෙමෙන් රට පාලනය කිරීම
2. ජීවිත සුරක්‍ෂිතතාව තහවුරු කිරීම
3. ආර්ථික සුරක්‍ෂිතතාව ඇති කිරීම
4. විශාරදයන්ගේ උපදෙස්‌ ලබා ගැනීම.
මේ අනුව යහපත් රාජ්‍ය පාලකයකුගේ මූලිකම කාර්යය විය යුත්තේ යහපත් රාජ්‍ය පාලනයක්‌ ඇති කර ගැනීමයි. ඒ සඳහා සියල්ලටම ප්‍රථම රජතුමා ධාර්මික විය යුතුය. (රාජා භවතු ධම්මිකො) වර්තමානයට අනුව නම් පාලකයා නැතහොත් පාලක පක්‍ෂය ධාර්මික විය යුතුය. අති පුරාණයේ සිටම භාරත වැසියන්ගේ උසස්‌ම ප්‍රාර්ථනයක්‌ වූයේ රජතුමා ධාර්මික විය යුතුය යන්නයි. භාරතයේ පමණක්‌ නොව ඕනෑම රටක රටවැසියන් තම පාලකයා ධාර්මික, යහපත් අයකු විය යුතු අපේක්‍ෂා කරන බවට සැකයක්‌ නැත. අපේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේ ද පුරාණයේ සිටම රාත්‍රි වත් පිරිත් කියා අවසානයට කරන ප්‍රාර්ථනයක්‌ ද තිබිණි. ඒ මෙසේයි.
"දෙවො වස්‌සතු කාලෙන - සස්‌ස සම්පත්ති හේතුච
පීතො භවතු ලොකොච - රාජා භවතු ධම්මිකෝ"
කලට වැසි වසීවාෘ, ශස්‍ය සම්පත් දියුණු වේවාෘ, ලෝ වැසියන් ප්‍රීතිමත් වේවාෘ රජතුමා ධාර්මික වේවාෘ යන්න එකී ප්‍රාර්ථනයෙහි සිංහල අදහසයි. මෙය කවුරුත් දන්නා ඉතා ප්‍රකට ප්‍රාර්ථනයකි. මෙහි අති විශාල ආර්ථික වැදගත්කමක්‌ ද තිබේ. මෙහි "දෙවො වස්‌සතු කාලෙන - සස්‌ස සම්පත්ති හේතුච" යන කොටසින් ප්‍රාර්ථනා කරන්නේ කලට වැසි ලැබී, ශස්‍ය සම්පත් දියුණු වී රටේ නිෂ්පාදනය වර්ධනය වේවාෘ යන්නයි. එසේ නම් මේ කියන්නේ අන්කිසිවක්‌ නොව ආර්ථික වර්ධනය පිළිබඳවයි. ආර්ථික වර්ධනය යනු රටක මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අඛණ්‌ඩව වර්ධනය වීමයි. ඉතා සරලව කියන්නේ නම් රටේ නිෂ්පාදනය දිගින් දිගටම වැඩි වීමයි. ආර්ථික සංවර්ධනයේ මූලික පූර්ව අවශ්‍යතාව වන්නේ මෙකී ආර්ථික වර්ධනයයි. ඒ නිසා ආර්ථික සංවර්ධනය සඳහා රටේ නිෂ්පාදනය අඛණ්‌ඩව වර්ධනය වීම (ආර්ථික වර්ධනය) අනිවාර්ය කරුණකි.
ආර්ථිකය වර්ධනය වූ පමණින් ආර්ථික සංවර්ධනය ඇති නොවේ. ආර්ථික වර්ධනය සමඟ ලෝවැසියන් එනම් මහජනතාව සතුටු වීම, ප්‍රීතිමත් වීම ද අවශ්‍ය ය. ජනයා සතුටට ප්‍රීතියට පත්වන්නේ කුමක්‌ නිසාද? මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉටු වී දුප්පත්කම අඩු වී, විරැකියාව අඩු වී රටේ වැඩිවන නිෂ්පාදනයේ ඵලය රටවැසියන් අතර සාධාරණ ලෙස බෙදී ගොස්‌ සමස්‌ත ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ නම් එහිදී ජනයා සතුටට, ප්‍රීතියට පත්වෙති. එසේ නම් "දෙවො වස්‌සතු කාලෙන - සස්‌ස සම්පත්ති හේතුච, පීතො භවතු ලොකොච" යන කොටසින් කරන්නේ අන් කිසිවක්‌ නොව "ආර්ථික සංවර්ධනය" ඇතිවේවාෘ යන ප්‍රාර්ථනයයි.
එසේ නම් ආර්ථික සංවර්ධනය යනු කුමක්‌ද? ආර්ථික සංවර්ධනය පිළිබඳ නොයෙකුත් නිර්වචන, අදහස්‌ තිබිය හැකිය. එහෙත් මූලික වශයෙන් ම ආර්ථික සංවර්ධනය යනු ආර්ථික වර්ධනයත් සමඟ රටක ව්‍යහාත්මක සහ ගුණාත්මක අංශ රැසක යහපත් වෙනස්‌කම් සමුදායක්‌ තුළින් සමස්‌ත ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ නංවන දිගු කාලීන ක්‍රියාවලියකි. ඒ නිසා ආර්ථික සංවර්ධනයේදී සිදු විය යුතු ප්‍රධානතම දෙය නම් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යැමයි. ජීවන තත්ත්වය ඉහළ යන්නේ, ජනයා සතුටට ප්‍රීතියට පත්වන්නේ රුපියල් ශත හෝ ආර්ථික කරුණු කාරණා නිසාම පමණක්‌ නොවේ. ජනතාව සතුටු වීමට, සමාජ, ආර්ථික දේශපාලන සහ ආධ්‍යාත්මික යන සෑම අංශයකින්ම රටක දියුණුවක්‌ සිදු විය යුතුය. මේ නිසා ලෝ වැසියන් එනම් මහජනතාව ප්‍රීතියට පත්වීමට ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගොස්‌ ආර්ථික සංවර්ධනයක්‌ ඇති විය යුතුය. එහෙත් මේ සියල්ලටම රජතුමා ධාර්මික විය යුතුය. (රාජා භවතු ධම්මිකො) එනම් රජතුමාගේ ධාර්මිකභාවය නැතහොත් පාලක පක්‍ෂයේ ධාර්මිකභාවය, මුළු රටේම සමෘද්ධියට හා සෞභාග්‍යයට හේතු වෙයි. කෙතරම් පාලම්, ගොඩනැඟිලි, වරායන්, මහාමාර්ග ඉදිකොට භෞතික සංවර්ධනයක්‌ ඇති කළත්, පොදු මහජනයා සතුටු වන්නේ ධාර්මික රාජ්‍ය පාලනයක්‌ ඇත්නම් පමණය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ අධම්මික සූත්‍රයට අනුව කිසියම් රටක රාජ්‍ය පාලකයකු අධර්මිෂ්ඨ වන්නේ නම් පාලක පක්‍ෂය (අමාත්‍ය මණ්‌ඩලය) ද අධර්මිෂ්ඨ වෙයි. රාජ්‍ය නිලධාරීන් මෙන්ම අවසානයේ ජනතාව ද අධර්මිෂ්ඨ වී ස්‌වභාව ධර්මයෙන් පවා නොයෙක්‌ විපත් සිදු වෙයි. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ රජු (පාලකයා) අධාර්මික වන විට මුළු මහත් රාජ්‍ය තන්ත්‍රයම අධාර්මික බවට පත්වන බවයි. මේ නිසා රාජ්‍ය පාලනයේදී පාලකයාගේ දැහැමි බව බුදු දහම නිරන්තරයෙන් ම අවධාරණය කරන්නකි. මෙවැනි දැහැමි රාජ්‍ය පාලනයක්‌ රටක ආර්ථිකයට "නිරන්තරයෙන් ම යහපත් බලපෑමක්‌ ඇති කරයි. සතුටින්, ප්‍රීතියෙන් නොසිටින ජනතාවක්‌ වෙසෙන රටක්‌ සංවර්ධිත රටක්‌ වන්නේ නැත.
පාලකයකු ධාර්මික වන්නේ කෙසේද? යහපත් රාජ්‍ය පාලනයක්‌ සඳහා කවර ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුද? සැකෙවින් හෝ මේ කරුණු ද මතක්‌ කර ගැනීම වැදගත් ය. පාලකයාගේ ධාර්මිකභාවයට හේතු වන කරුණු දහයක්‌ බුදුරජාණන් වහන්සේ දශරාජ ධර්මයෙන් පෙන්වා දී ඇත. දානය, ශීලය, පරිත්‍යාගය, සෘජුබව, මෘදු බව, තපස, අක්‍රොධය, අවිහිංසාව, ඉවසීම හා අවිරෝධතාව යනු මේ දශ රාජ ධර්මයයි. මේ ගුණාංග මුළුමනින් ම කෙසේ වෙතත් හැකිතාක්‌ දුරට මේවා අනුගමනය කරන්නේ නම් එයින් යහපත් දැහැමි පාලනයක්‌ ඇති වෙයි. එසේම ධාර්මික රාජ්‍ය පාලනයක්‌ සඳහා දානය, ප්‍රියවචනය, අර්ථ චර්යාව සහ සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්‌තු අනුගමනය කිරීමද, ඡන්ද, ද්වේෂ, භය සහ මෝහ යන සතර අගතියෙන් තොර වීම ද රාජ්‍ය පාලකයකුට ඉතාමත් අවශ්‍යය. බුද්ධකාලීන භාරතයේ ප්‍රබල රාජ්‍යයක්‌ව පැවැති ව-ජි රාජ්‍යය මුල්කර ගෙන බුදුරජාණන් වහන්සේ අපරිහානිය ධර්ම හතක්‌ ද දේශනා කර තිබේ. මෙම සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කිරීම ද රටක නොපිරිහීමට හා දියුණුවට හේතු වෙයි.
බුදු දහමේ සඳහන් මේ සංකල්පීය කරුණු සියල්ලම පරිපූර්ණ වශයෙන් කිසියම් රාජ්‍ය පාලකයකුට අනුගමනය කළ හැකි යෑයි අප කියන්නේ නැත. එහෙත් මේ ගුණාංග සහ ප්‍රතිපත්ති හැකිතාක්‌ දුරට රාජ්‍ය පාලනය සඳහා එකතු කර ගැනීමෙන් යහපත් රාජ්‍ය පාලනයක්‌ ඇති වේ. ජනයා සතුටට පත්වන, ආර්ථික සංවර්ධනයක්‌ ඇති වීමට මෙය නිරන්තරයෙන් ම හේතු වෙයි. ඒ නිසා රටවැසියන් සමඟ, සෑම කලෙකම අපිදු ප්‍රාර්ථනා කරන්නේ පාලක පක්‍ෂය ධාර්මික වේවා! (රාජා භවතු ධම්මිකො) යන්නයි.




1 comment:

  1. ගොඩක් පැහැදිලියි.ගොඩක් හොදටම තේරුම් ගන්න පුළුවන්...

    ReplyDelete

Post Top Ad

Your Ad Spot