පුද්ගල ශක්තිය හා ස්වාධීනත්වය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් - BC

Hot

Post Top Ad

Your Ad Spot

Monday, February 4, 2019

පුද්ගල ශක්තිය හා ස්වාධීනත්වය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්

පුද්ගල ශක්තිය හා ස්වාධීනත්වය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්
බුදුසමයෙහි මානවවාදී ඉගැන්වීම් සහිත අන්තගාමීත්වය බැහැර කරන ඉගැන්වීම් රැසක් සහිත ය.
බුදුසමය පහළ වූ භාරතීය සමාජය ආගමික දාර්ශනික වශයෙන් බහුවිධ ඉගැන්වීම් රැසක්ම පැවතුණි. එහිලා පුද්ගල ශක්තිය හා ස්වාධීනත්වය බිද දමන ඊශ්වර නිර්මාණවාදය, පුබ්බේකතහේතුවාදය, නියතිවාදය, භෞතිකවාදය,උච්ඡේදවාදය වැනි ඉගැන්වීම් හදුනාගත හැකිය. සමාජ සදාචාරය බිදවැටීමට හේතුවන මෙවැනි ඉගැන්වීම් හමුවේ බුදුසමය පුද්ගල ශක්තිය හා ස්වාධීනත්වය ආරක්ෂා කරමින් වඩාත් ප්‍රබුද්ධ සමාජ කතිතාවක් ඇතිකරමින් සදාචාරවත් පදනම සුරක්ෂිත කළ බව කිව හැකිය.
ඒ අනුව පුද්ගල ශක්තිය පිළිබද බෞද්ධ ඉගැන්වීම් මොණවාද යන්න ප්‍රථමයෙන් විමසා බලමු. ඊශ්වරනිර්මාණවාදී බ්‍රාහ්මණික(වෛදික) ඉගැන්වීම් වලට අනුව මිනිසා ඊශ්වර නිර්මාණයකි(දේව නිර්මාණයකි.) ඔහු මවා ඇත්තේ මහා බ්‍රහ්මයා යි. වර්ණ ධර්ම තුළ ඒ බව තහවුරු කරයි. එසේම ස්වධර්ම, ආශ්‍රම ධර්ම ආදී වෛදික ඉගැන්වීම් අනුව ඔහු සිය ජීවිතය ගතකළ යුතු වූ අතර ස්ව ශක්තියෙන් නැගීසිටීමට ඇති හැකියාවක් ඔහුට නැත. එය දේව කැමැත්තට යටත් වෙයි.
පුබ්බේකතහේතුවාදය ජෛන මහාවීරතුමාගේ ඉගැන්වීමක් විය. ඊට අනුව සියල්ලම සිදුවන්නේ පෙර කරන ලද කර්මයට අනුව ය. යහපත් හෝ අයහපත් යන ඕනෑම කර්මයක් පුද්ගලයාගේ කැමැත්තට අනුව වෙනස් කළ හැකි බවක් ඉන් අදහස් නොවේ. පෙර කරන ලද ආත්මයේ කර්ම විපාකයක් ලෙස භාරගැනීමට සිදුවන බැවිනි. එසේ නම් එයින් ද පුද්ගල ශක්තිය බැහැරව යන බව කිව හැකිය.
බුද්ධකාලීන සමාජයේ නියතිවාදී ඉගැන්වීමක් සිදු කළ ශාස්තෲවරයකු ලෙස මක්ඛලි ගෝසාලතුමා හදුනාගත හැකිය. එතුමාට අනුව පුද්ගලයාගේ සසර ගමන නියතියක් ලෙස ඉදිරියට ගමන්කොට එහි අවසානයක් සනිටුහන් වෙයි. අහේතු අප්‍රත්‍යවාදී මෙන්ම අකිරියාවාදී ඉගැන්වීමක් ද වූ මෙයින් ද පුද්ගල ශක්තිය සහ ස්වාධීනත්වය බිද දමන බව පෙනෙයි.
මේ නිසා බුදුසමය පුද්ගල ශක්තිය හා ස්වාධීනත්වය පිළිබද සිදුකරනු ලබන ඉගැන්වීම සැබවින්ම සුවිශේෂ දාර්ශනික චින්තන පෙරළියක් වූ බව කිව හැකිය.
බුදුසමය නොපෙනෙන දෙවියකුගේ පිහිට පැතීම බැහැර කරයි. දේවත්වයට, බ්‍රහ්මත්වයට පුද්ගල ශක්තිය දියුණු කිරීමට අවශ්‍ය මගපෙන්වීම් සිදුකරයි.
" අප්පමාදේන මඝවා දේවානං සෙට්ඨතංගතං"
මඝ මානවකයා යහපත් ක්‍රියා කළ බැවින් දෙව්ලොව උපත ලැබීය. එසේම පුද්ගලයකුට බුද්ධත්වයට වුවද පත්විය හැකිය. තුෂිත දෙව්ලොව සංතුෂිත දිව්‍යරාජයා ලෙස උපතලබා සිටි මහබෝසතුන් "සිද්ධාර්ථ" නමින් මෙලොව උපත ලබා බුද්ධත්වයට පත්විය. ඒ අනුව මනුෂ්‍යයකු ලෙස දේවත්වය පවා අතික්‍රමණය කරමින් පුද්ගල ශක්තිය වර්ධනය කළ අයුරු පැහැදිලි වෙයි. මනුෂ්‍යයින් දෙවියන් ආදීන් කෙරෙහි කෙලෙස් පවතියි. කෙලෙස් බහුල ලෝකයේ නිකෙලෙස් බව පිණිස ගමන්කිරීමෙන්ම පුද්ගල ශක්තිය දියුණු කරගැනීමට බුදුසමය ඉඩසලසයි. ඒ සදහා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් එහා ගිය ආධ්‍යාත්මික, ප්‍රඥා මූලික මාර්ගයක් දේශනා කරයි. ඒ තුළ පුද්ගලයා දෙවියන්ගෙන් පවා වැදුම් පිදුම් ලබන තත්වයට පත්කරයි. දිනක් සක් දෙවියන් සිය රථාචාර්යයා වූ මාතලී සමග එහිදී සක් දෙවියන් මනුලොව දෙසට හැරී වදිනුලබන අතර මාතලී ඊට හේතු විමසයි. එවිට සක් දෙවියන් ප්‍රකාශකරන්නේ
"මාතලී මම වදිනුලබන්නේ මිනිස් ලොව පින් රැස් කරන අඹුදරුවන් මැනවින් පෝෂණය කරන සිල්වත් ධාර්මික උපාසකයන්ටයි"
යනුවෙනි. එසේ නම් බුදුසමය පුද්ගල ශක්තිය දෙවියන්ගෙන් වැදුම් පිදුම් ලබන තත්වයට පත්කර ඇති බවයි.
එසේම පුද්ගලයාට යම් කාර්යයක් සිදුකිරීමට නම් ඒ සදහා ශක්තියක් අවශ්‍ය වෙයි. එය
*ආරම්භ ධාතු - යම් කාර්යයක් ආරම්භයේදී උපදින වීර්යය
*පරක්කම ධාතු - පවත්වාගෙනයාමේ හැකියාව
*නික්ඛම ධාතු - කුසිත බවින් තොරව ක්‍රියාකිරීමේ හැකියාව
*ස්ථාම ධාතු - බලවත් වීර්යය
*ස්ථිති ධාතු - පිහිටි වීර්යය
* උපක්ඛම ධාතු - උපක්‍රම ශක්තිය
ආදී වශයෙන් පුද්ගල ශක්තිය ගොඩනගාගත යුතු අයුරු පෙන්වා දෙයි.
බුදුරජුන් පුද්ගල ශක්තිය වර්ධනය කිරීමෙහිලා සිදුකළ තවත් ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමුකරමු.
" අත්තාහි අත්තනො නාථො කොහි නාථො පරොසියා"
"තමාට පිහිට තමාම ය. අන් කවරෙක් නම් තමාට පිහිටක් වේද?"
නොපෙනෙන දෙවියකු සරණයාම මගින් ඵලක් නොවන බවත් තමාම තමාට පිහිට කරගතයුතු බව අවධාරණය කරන්නේ පුද්ගල ශක්තිය වර්ධනය කිරීම පිණිසය.
එසේම බුදුසමය උගන්වන්නේ,
" අත්තදීපා විහරථ
න අඤ්ඤ සරණා "
"තමා තමාට දිවයිනක්, පහණක්, ආලෝකයක් වන්න. අන් සරණක් නැත."
යනුවෙනි.
තවද, බුදුවරුන් නිවන් මග පෙන්වන්නෝ ය. ඒ මග ගමන්ගැනීම තමා සතු කාර්යයකි.
"තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා"
විමුක්තිය ලබාගැනීම පිණිස කටයුතු කිරීම පුද්ගලයා සතු කාර්යයක් ය යනුවෙන් එතුමන් දේශනා කරන්නේ පුද්ගල ශක්තිය වර්ධනය කරමිනි.
" ශුද්ධි අශුද්ධි පච්චත්තං නාඤ්ඤ අඤ්ඤං විශොධයො"
"පිරිසිදු අපිරිසිදු බව ඇත්තේ තමා තුළමය. ඊට අන්අයට කළ හැකි දෙයක් නොමැත."
යනාදී වශයෙන් ද පුද්ගලයා විමුක්ති මාර්ගය තුළට ප්‍රවේශකරමින් පුද්ගල ශක්තියම වර්ධනය කිරීමෙහිලා අනේක ඉගැන්වීම් සිදුකළ ආකාරය හදුනාගත හැකිය.
බුදුසමය පහළ වූ භාරතීය සමාජයේ පැවති ආගමික දාර්ශනික පසුබිම තුළ දෘෂ්ටි වශයෙන් දෙසැටක් පමණ පැවති මතවාදයන් පිළිබද දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයට අනුව අසන්නට ලැබෙයි. එය දෘෂ්ටි කලහයක් ලෙස ද තැනක හදුන්වන බුදුසමය දෘෂ්ටිගතවීමට කැමති නොවෙයි. මතුපිටින් බැලූවිට මේ ආගමික දාර්ශනික මතවාදයන්හි සමවායෙන් භාරතීය සමාජය තුළ චින්තන නිදහසක් පැවති බව පෙනුන ද එකී මතවාද තුළට ප්‍රවේශ වූ පුද්ගලයාට නිදහස් චින්තනය අහිමි වන බව බුදුදහම පෙන්වා දෙයි. සුප්‍රකට කාලාම සූත්‍රයේ(අං.නි) දී බුදුරදුන් කාලාම වැසියනට දේශනා කරන්නේ
1.අනුශ්‍රව කතාවෙන් ද
2.පරම්පරා කතාවෙන් ද
3.පිටක සම්ප්‍රදායෙහි වූ පමණින් ද
4. මෙසේ වී යැයි යමෙක් කියයි ද එපමණකින් ද
5.තර්කයට එකග පමණින් ද
6.න්‍යායයට එකග වූ පමණින් ද
7. ආකාරපරිවිතර්කයෙන් ද
8.සිය දෘෂ්ටියට ගැලපෙති යි සිතා ද
9.භව්‍යරූපතායෙන් ද
10.මේ ශ්‍රමණයා අපට ගුරුවරයා යි ද
යමක් එක්වරම පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප නොකළ යුතු බවයි. යම් දහමක් කුසල්වේද? අකුසල් වේද? නුවණැත්තන් විසින් ගර්හිත ද? නුවණැත්තන් විසින් පසස්නා ලද ද? යනුවෙන් විමසා බලා තමාට පිළිගැනීමට විමසුම් නිදහසක් ඇති බවයි. එසේ නම් බුදුසමය කිසිදු අයුරක සීමාවක් පිළිනොගන්වා යහපත අයහපත යන පොදු වූ නිර්ණායකය මත පුද්ගලයාගේ ස්වාධීනව තීරණගැනීමේ අයිතිය හා එ් අනුව කටයුතුකිරීම තහවුරු කළ අයුරු පැහැදිලිය.
චින්තන නිදහස අගයන බුදුසමය ධර්මය ( පෙළ දහම ) වුවද කරතබාගෙන යාමට නොව පහුරක් ලෙස එතෙරවීමට භාවිත කළයුතු බව උපමා කරමින් (කුල්ලූපමං) දක්වන්නේ පුද්ගල චින්තන නිදහස සහ ස්වාධීනත්වය කිසිම අයුරකින් සීමා නොවිය යුතු බව අවධාරණය කරමිනි.
නිර්වාණ මාර්ගය පෙර ද පැවතුණි(පුරාණං අඤ්ජසං) බුදුවරුන් සිදුකරන්නේ එය සොයාගැනීම පමණි යනුවෙන් නිහතමානීව පැවසූ බුදුරදුන් ධර්මය විවෘත වූ විට බබලන බවත් එය සැගවිය යුත්තක් නොවන බවත් ප්‍රකාශ කරයි. තවද බුදුසමය එව බලව "ඒහි පස්සිකො" යනුවෙන් කිව හැකි දහමකි. අනාත්මවාදී දහමක් දේශනා කරමින් සරල අල්පේච්ඡ බව අගය කරන දේශනාවක් සිදුකළ බුදුරදුන් කිසිවිටෙක සිය පිරිස වර්ධනය කරගැනීමේ අටියෙන් ධර්මය දේශනා කළේ නැත. අන්‍යාගමිකයන් වූ උපාලි ගෘහපති, න්‍යග්‍රෝධ පිරිවැජියා ආදීන්ගේ කතාපුවත් තුළින් ඒ බව තහවුරු වෙයි. උපාලි ගෘහපති තමන් උපාසකයකු ලෙස පිළිගන්නා ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එතුමන් දේශනා කරන්නේ ඒ පිළිබද නැවත සිතාබලන ලෙසත් 'ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් එසේ එක්වරටම ප්‍රකාශ නොකළ යුතු බවත් ය. නැවතත් සිතා බලන ලෙස බුදුරදුන් පුන පුනා ප්‍රකාශ කරයි. නීග්‍රෝධ පිරිවැජියා තමන් උපාසකයකු ලෙස පිළිගන්නා ලෙස ඉල්ලීම් කරන විට ද බුදුරදුන් ඔහුට ප්‍රකාශ කරන්නේ තමන්වහන්සේ ධර්මය දේශනා කළේ ඔහු සිය අනුගාමිකයකු බවට පත්කරගැනීමේ අටියෙන් නොවන බවයි. මේ නිදසුන් තුළින් බුදුසමය පුද්ගල ස්වාධීනත්වය අගයකරන ආකාරය මැනවින් පැහැදිලි වෙයි. 


1 comment:

Post Top Ad

Your Ad Spot