අල්පේච්ඡ ජීවිතයක වැදගත්කම - BC

Hot

Post Top Ad

Your Ad Spot

Sunday, January 13, 2019

අල්පේච්ඡ ජීවිතයක වැදගත්කම


බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතර එක්‌ ධර්ම සංකල්පයක්‌ නම් අල්පේච්ඡතාවයි. එහි සාමාන්‍ය අර්ථය වන්නේ ආශාව අඩු බව හෙවත් අපිස්‌ බවයි. 
 
 තමාගේ අවශ්‍යතාවන්ට වඩා උපභෝග හෝ පරිභෝග වස්‌තු පරිභෝජනය, ගොඩගසා ගැනීම අපිස්‌ බවේ ලක්‌ෂණයක්‌ නොවේ. ප්‍රමාණයට වඩා ඒ ආකාරයෙන් වස්‌තුව ගොඩගසා ගැනීම බුදුදහමේ හඳුන්වන්නේ මහිච්ඡතාව යන නමිනි. අල්ප යනු කෙටි, මඳ යන අරුත් ගෙන දෙන අතර මහ යනුවෙන් වැඩි, බොහෝ යන අරුත් ගෙන දේ. ඉච්ඡතාව යන අරුත පිළිබඳ විසුද්ධි මාර්ගයේ කරුණු හතරක්‌ ප්‍රධානව දක්‌වා ඇත. එනම්,
 
 1. අත්‍රිච්ඡතා (තමන්ට ලැබුණු දෙයින් සෑහීමකට පත් නොවී තව තවත් වස්‌තු ලබා ගැනීමට ඇති ආශාව)
 
 2. පාපිච්ඡතා (තමා සන්තකයේ නොමැති ගුණයන් පෙන්වා යමක්‌ ලබා ගැනීමට වෙහෙසීම)
 
 3. මහිච්ඡතා (තමා තුළ ඇති ගුණයන්ට වඩා වැඩි ගුණයක්‌ පෙන්වා වස්‌තු හෝ සැලකිලි ලබා ගැනීමට වෙහෙසීම)
 
 4. අල්පේච්ඡතා (තමා තුළ ඇති ගුණස්‌ඛන්ධය අනුන්ට නොපෙන්වා සද්ධා සීල ආදී වූ ගුණයන්ගෙන් යුතුව නිහතමානි ගුණයෙන් යුතු වීම)
 
 විසුද්ධි මාර්ගයේ ඉහතින් පෙන්වා දුන් අල්පේච්ඡතාවේ ගුණාංගය මනා කොට අවබෝධ කර ගැනීමට නම් වෙසෙසින් ම පුද්ගලයාට පරිපූර්ණ ප්‍රඥාවක්‌ තිබිය යුතුය. එනමුදු සාමාන්‍ය පුද්ගලයාට වුව සමාජයේ ජීවත්වන විට අල්පේච්ඡතාවෙන් යුතු පුද්ගලයාගේ ලක්‌ෂණ හඳුනාගත හැකි අතර ඔහුගේ චරිතයේ ඇති විශේෂ ලක්‌ෂණ මනාව හඳුනාගනී. අල්පේච්ඡතාවෙන් යුත් තැනැත්තා කිසි දිනෙක තනතුරු පසුපස හඹා යැමක්‌ නැත. ඔහු කීර්ති ප්‍රසංසා ආදිය ලැබීම සඳහා කටයුතු නොකරන අතර ඔහු කරන යහපත් ක්‍රියා නිසා සමාජයෙන් ලැබෙන ප්‍රසංසා නිහතමානීව ඉවසයි. එහෙත් මහිච්ඡතාවෙන් හා ඉහතින් පෙන්වා දුන් අනෙකුත් ලක්‌ෂණවලින් යුක්‌ත පුද්ගලයාගේ ලක්‌ෂණ එසේ නොවේ. ඔහු නිරන්තරයෙන් සොයන්නේ කීර්තියයි. ප්‍රසංශාවයි. සැම තැනෙක්‌හි දී ම තමාගේ ගුණ වයනු ඇතැයි සිතයි. අයථා ක්‍රම අනුගමනය කරමින් ලාභසත්කාර හෝ කීර්ති ප්‍රසංසා හෝ ලබාගනී. අල්පේච්ඡ ජීවිත ගත කරන්නෝ තමාගේ ඇති ගුණධර්ම හා හැකියාවන් ස්‌වාර්ථය පිණිසත් පරාර්ථය පිණිසත් යොදවා ලෞකික ජීවිතය මෙන් ම ලෝකෝත්තර දියුණුව සාක්‌ෂාත් කරගනිති.
 
 අත්‍රිච්ඡතාවෙන් යුතු පුද්ගලයා කිසිදු විටෙක තමා ලද දෙයින් සෑහීමකට පත් නොවේ. ඔහු තමන් ලද දෙයින් සෑහීමකට පත් නොවන්නා සේ ම අනුන්ගේ දියුණුව හමුවේ ඊර්ෂ්‍යා පරවශ වේ. ඔවුන් ලබන යසඉසුරු දැක, සැප සම්පත් දැක ඒ පිළිබඳ තැවෙමින් ජීවත් වේ. තමාගේ තත්ත්වයත් අනෙකාගේ තත්ත්වයත් දෙකම සංසන්දනය කරමින් ජීවත් වේ. තමා ලබන දෙයයි අනෙකා ලබන දෙයයි අතර සමානකම් අසමානකම් පිළිබඳ මෙනෙහි කරමින් දිවා රෑ පසුතැවීම මහිච්ඡතාවෙන් යුත් පුද්ගලයාගේ සාමාන්‍ය ලක්‌ෂණය යි. ඔහු සැමවිටම දිවි ගෙවන්නේ අසහනයෙන් යුතුව ය. 
 
 පාපිච්ඡතාවෙන් යුත් පුද්ගලයාගේ ලක්‌ෂණය නම් තමා සන්තකයේ නැති ගුණ පෙන්වා අනුන්ගෙන් යමක්‌ ලබා ගැනීමේ ඇති කැමැත්තයි. ලාබ සත්කාර, කීර්ති ප්‍රසංසා, තාන්න මාන්න ආදිය අපේක්‌ෂාවෙන් කටයුතු කිරීම ඔහුගේ සාමාන්‍ය ලක්‌ෂණය යි. ඔහුගේ සිතෙහි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක්‌ නොමැති මුත් අතිශ්‍ය ශ්‍රද්ධාවන්තයෙකු බව අනෙකාට හැඟවීමට මුලපුරයි. අභ්‍යන්තරයෙන් සංවරකමක්‌ නැති ඔහු බාහිරින් අතිශයින්ම සංවර පුද්ගලයෙක්‌ බව ලොවට ප්‍රදර්ශනය කරයි. ඉතා සෙමින් කතාබහ කරන ඔහු කිසි දිනෙක අන් පුද්ගලයෙකු දෙස මුහුණ නොබලා කතාකරයි. මෙහි දී ශ්‍රද්ධාවන්තයා හා පාපිච්ඡතාවෙන් යුත් පුද්ගලයා කවුදැයි නිසි සේ අවබෝධ කර ගැනීමේ වගකීම සමාජීය සත්ත්වයාට ඇත. 
 
 තෙවැනියට සඳහන් වන්නේ මහිච්ඡතාව පිළිබඳව හා ඔහුගේ ලක්‌ෂණ පිළිබඳව ය. එකී පුද්ගලයා තමා සන්තකයේ ඇති ගුණ ධර්මයන්ට වඩා වැඩියෙන් ගුණ ධර්මයක්‌ තමා සන්තකයේ ඇති බව හඟවා අනුන් රටවා, වංචනිකව ලාබ සත්කාර හෝ කීර්ති ප්‍රසංසා ලබා ගැනීම උදෙසා වෙහෙසේ. ඔහු ද කිසි දෙයකින් සංතෘප්තියට පත්වන්නා වූ කෙනෙක්‌ නොවේ. මේ පිළිබඳව උපමාවකින් පෙන්වා දෙන්නේ නම් මහ සයුරට කෙතරම් ගංගා ජලය ගලා ආව ද ඒ ජලය සයුරට වැඩි නොවන්නා සේ, ගින්නට කෙතරම් දර දඬු ආදිය දැම්ම ද නො සෑහෙන්නා සේ තමාව වැදූ මවටවත් මොහුව සැනසාලිය නොහැකිය. මේ අනුව ඉහතින් දැක්‌වූයේ අප්පිච්ඡතා සංකල්පයට විරුද්ධාර්ථයක්‌ ඇති සංකල්ප රාශියකි. මේ කරුණු ආශ්‍රයෙන් අල්පේච්ඡතාවේ ඇති වැදගත්කම මනාව වටහා ගැනීමට හැකි වනු නො අනුමානය. අල්පේච්ඡතාව දහමට අනුව කොටස්‌ කිහිපයකට බෙදා දැක්‌විය හැකිය. එනම්,
 
 1. පච්චය අල්පේච්ඡතාව
 
 2. ධුතාංග අල්පේච්ඡතාව
 
 3. පරියත්ති අල්පේච්ඡතාව
 
 4. අධිගම අල්පේච්ඡතාව 
 
 ආදි වශයෙනි. ඉහතින් පෙන්වා දුන් ගති සිරිත් (අල්පේච්ඡතාවන්) භික්‌ෂූන් වහන්සේ උදෙසා අත්‍යන්තයෙන් පැවතිය යුතු අතර ඒවා ගිහි පිරිස්‌ කෙරෙහිද පැවතීම ඔවුන්ගේ ïවිත සාර්ථක වීම කෙරෙහි බෙහෙවින් බලපාන්නේ ම ය. වෙසෙසින් ම ගිහි පිරිස භෞතික සම්පත් රැස්‌ කරන අය හෙයින් ඔවුන් කෙරෙහි මෙම සංකල්පය බලපාන්නේ කෙසේදැයි අවබෝධ කර ගැනීම වටී. පළමුවෙන් ම සඳහන් වන්නේ පච්චය අල්පේච්ඡතාවයි. එනයින් පෙන්වා දෙන්නේ භෞතික සම්පත් සීමා සහිතව වින්දනය කිêමයි. භික්‌ෂූන් වහන්සේ නමක්‌ නම් උන්වහන්සේ සිව්පසයෙන් සංතෘප්ත විය යුතුය. එයින් පිට වස්‌තු රැස්‌ කිරීම ඔහුගේ පරිහානිය පිණිසම හේතුවනු නිසැකය. දෙවැනිව පෙන්වා දී ඇත්තේ ධුතාංග අල්පේච්ඡතාවයි. එයින් පැවසෙනුයේ භික්‌ෂුවක්‌ විසින් පිළිපැදිය යුතු 13 ක්‌ වූ රූක්‌ෂ ප්‍රතිපදාවන් පිළිබඳව ය. මෙම ප්‍රතිපදාවන් දිවි හිමියෙන් ආරක්‌ෂා කළ යුතු අතර එය තමා ආරක්‌ෂා කරන බැව් අන්‍යයන්ට දැන ගැනීමට ඉඩ නො තබයි. එයට හේතුව නම් එයින් තමා කෙරෙහි ගිහි පිරිස්‌ පැහැදී ලාභ සත්කාර වැඩේය යන බිය හේතුවෙනි. පරියත්ති අල්පේච්ඡතාව යනු තමා උගත් ධර්මය පිළිබඳව ආඩම්බරයෙන්, උද්දාමයෙන් අන්‍යයන් අභිමුව ප්‍රදර්ශනය නො කිරීමයි. එවැනි පිරිස්‌ තමන් කෙතරම් බහුශ්‍රැත වුව ද අන්‍යයන්ට එය ප්‍රකට කිරීම උදෙසා වෙහෙස නොගනී. නිහතමානිව කටයුතු කරයි. මෙවන් පිරිස්‌ පැවිදි සමාජයේ මෙන් ම ගිහි සමාජයේ වුව දැක ගැනීමට හැකිය. 
 
 සිව් වැනිව පෙන්වා දී ඇත්තේ අධිගම අල්පේච්ඡතාවයි. තම ශීලාදී ගුණ ධර්ම හා ලෝකෝත්තර දියුණුව අන්‍යයන්ට විශේෂයෙන් පෙන්වා ක්‍රියා නොකිරීමේ ගුණයයි. වර්තමානයේ බොහෝ පිරිස්‌ තමන් සෝවාන් ආදී උතුම් අධිගමයන්ට පත් වූ බව ඇතැමෙක්‌ ප්‍රකාශ කරති. සැබැවින් ම අධිගම අල්පේච්ඡතාවෙන් යුක්‌ත භික්‌ෂුව හෝ ගිහි තැනැත්තා එසේ අන්‍යයන්ට එය විශේෂයෙන් ප්‍රකාශ කිරීමට නොයයි. මෙවන් හේතු නිසා බොහෝ විට ඒ උත්තරීතර අවස්‌ථාවන් පවා හෑල්ලුවට ලක්‌ වනු නො අනුමාන ය. බොහෝ පිරිස්‌ ආත්ම වංචාවෙන් යුතුව මෙසේ ක්‍රියා කරන්නේ ලාභ අපේක්‌ෂාවෙන් හා ගරු බුහුමන් අපේක්‌ෂිතව ය. එයින් තමන්ට මහත් විපතක්‌ වන අතරම සමාජීය සත්ත්වයා ද නොමඟ යෑවීමක්‌ වේ. 
 
 ඉහතින් පෙන්වා දුන් භික්‌ෂුව උදෙසා දේශිත අල්පේච්ඡතාවන් ගිහියන් උදෙසා ද පැවතිය යුතුමදැයි ප්‍රශ්න කරනු ඇත. සැබැවින් ම අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කිරීම පැවිදි පිරිස්‌ උදෙසා පමණක්‌ නොව ගිහි පිරිස්‌ට ද යෝග්‍ය දෙයකි. අල්පේච්ඡ වූ තරමට ගිහියාට සැනසීම, සහනය උදා කරගත හැකිවන්නේ ය. සරල සැහැල්ලු දිවියක්‌ ගත කිරීම ගිහි පැවිදි භේදයකින් තොරව උතුම් ක්‍රියාවකි. අල්පේච්ඡතාවෙන් යුතු ගිහියාගේ ජීවිතය අනෙක්‌ ගිහියන්ගේ ජීවිතවලට වඩා අතිශයින් ම ප්‍රභාස්‌වරය. ඔහුගේ ක්‍රියාවන් අන්‍යයන්ගේ සිත් සතන්හි ඔහු කෙරෙහි ප්‍රශංසාභිමුඛ වීමට හේතුවේ. ඔහු අල්ප වූ ලෞකික සම්පත් වින්දනය කරන නිසා අන්‍යයන්ට කරදරයක්‌ වන්නේ නැත. 
 
 අතෘප්තකර මිනිසාට තම ආශාවන් පාලනය කිරීමට හැකි වන්නේ නම් ඒ අල්පේච්ඡතා ගුණය හේතුවෙන් ම පමණි. අප සමාජයේ ජීවත් වන බොහෝ පිරිස්‌ අල්පේච්ඡතාවට වඩා මහිච්ඡතාවෙන් යුක්‌ත පිරිසක්‌ බව නො කිවමනාය. සම්පත් ගොඩගසා ගෙන ජීවත් වීම ඔවුන් සලකන්නේ සතුටක්‌ ලෙසය. බොහෝ සැප සම්පත් තිබීම (යානවාහන, ඉඩම්කඩම්, පරිවාර සම්පත් ආදිය) සමාජයේ උසස්‌ යෑයි පිළිගැනීමට හේතුවක්‌ බව ඔවුහු සිතති. මේ හේතුවෙන් රැස්‌ කිරීමේ නිරත වන ඔවුන් ඒ සම්පත් විනාශ වීමේ දී මහත් සිත් තැවුලට පත් වේ. අල්පේච්ඡතාව ප්‍රගුණ කරන්නා තමාගේ ජීවිතය රැකීම පිණිස හේතුවන දෑ පමණක්‌ සමීප කරගන්නා අතර අනෙකුත් දේ බැහැර කිරීමට පසුබට නොවේ. මේ අනුව අල්පේච්ඡතාවේ ඇති වැදගත්කම තේරුම් අරගෙන ජීවිතයට සුවදායක බව තේරුම් අරගෙන එවැනි යහපත් ජීවිතයක්‌ ගත කිරීමට ගිහි පැවිදි සියල්ලෝ ම උත්සාහවත් විය යුත්තේ ම ය. 
 
 රාජකීය පණ්‌ඩිත පදියතලාවේ ඤාණවිමල හිමි
 
 මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ යල්කුඹුර - බිබිල

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot